කුඩු ඇද්ද මෝටර් රථයට වෙඩි


(පුෂ්පකුමාර ජයරත්න)

⁣මත් කුඩු ප්‍රවාහනය කළ මෝටර් රථයකට වෙඩි තබා නවත්වා මත්කුඩු පැකට් 50ක් සමග සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය කියයි.

වෙඩි වැදුණු මෝටර් රථයෙන් බැස පලා යමින් සිටියදී සැකකරුවන් රථයෙන් පිටතට විසි කර තිබූ කුඩා ප්‍රමාණයේ මත් කුඩු පැකැට් පනහකට ආසන්න ප්‍රමාණයක්ද සොයාගත් බව පොලිසිය පවසයි. 

මෝටර් රථයකින් කුරුණෑගල දෙසට මත් කුඩු ප්‍රවාහනය කරන බවට පොල්ගහවෙල පොලීසියට ලද තොරතුරකට අනුව එම රථය අත්අඩංගුවට ගැනීම සඳහා ⁣උඩවෙල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් යොදා ඇත.  සැක කටයුතු මෝටර් රථය හඳුනාගත් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෝටර් රථය නවත්වන ලෙස අණ කර ඇතත් එම අණ නොතකා මෝටර් රථය ධාවනය කර ඇත.

මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරියකු මෝටර් රථය ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් රෝදයකට වෙඩි වැදී රථය නතරවී ඇත.

මේ අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු පලා යාමට උත්සාහ ගෙන ඇතත් පොලිස් ඔවුන් හඹා ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර කාන්තවක සහ කුඩා දරුවකුද වන බව පොලිසිය කියයි.